ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා දෙවෙනි තරගයේ ජයත් ඕස්ට්‍රේලියාවට

0

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා දෙවෙනි තරගයේ ජයත් ඕස්ට්‍රේලියාවට  
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමගින් පැවැත්වෙන තරග තුනකින් යුතු T20 ක්‍රිකට් තරගාවලියේ දෙවෙන තරගය අද බ්‍රිස්බේන් ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු අතර, එහිදී කඩුලු 9කින් තරගය ජයගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව එක් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලිය 2-0ක් ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා.

අද පැවැත්වුණු තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. එහිදී පන්දුවාර 19කදී සියලු දෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කරගත හැකි වූයේ ලකුණු 117ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 13කදී එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසුකරන්නට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් ජනිත් ලකුණු 27ක්ද, ධනුෂ්ක ගුණතිලක ලකුණු 21ක් ද, අවිශ්ක ෆර්නැන්ඩෝ ලකුණු 17ක් ද ලබාගත් අතර, අන් කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු 10 සීමාව පසු කරන්නට සමත් වූයේ නැහැ. පන්දු යැවීමේදී නායක ලසිත් මාලිංග එක් කඩුල්ලක් දවාගත්තා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ඩේවිඩ් වෝනර් ලකුණු 60ක් ද, ස්ටීවන් ස්මිත් ලකුණු 53ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී බිලී ස්ටැන්ලේක්, පැට් කමින්ස්, ඇස්ටන් අගර් සහ ඇඩම් සම්පා කඩුලු 2 බැගින් දවාගත්තා.

පසුගිය 27 වනදා ඇඩිලේඩ්හි ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වුණු පළමු T20 තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 134ක දරුණු පරාජයකට මුහුණදෙනු ලැබුවා. එය ඕස්ට්‍රේලියානු කණ්ඩායම T20 ඉතිහාසයේ ලබාගත් ඉහලම ජයග්‍රහණය වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ දරුණුතම පරාජය වීම විශේෂත්වයක්.

අද පැවැත්වුණු දෙවන තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගයට සහභාගී වූ ඕෂධ ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ සහ කසුන් රාජිත වෙනුවට අවිශ්ක ගුණවර්ධන, නිරෝෂන් දික්වැල්ල සහ ඉසුරු උදාන කණ්ඩායමට එකතු කරගෙන තිබුණු අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මිචෙල් ස්ටාක් වෙනුවට බිලී ස්ටැන්ලේක් අද තරගය සඳහා සහභාගී කරවාගෙන තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here