T20 පිටියේ හොඳම පන්දු යැවීම වාර්තා කළ ඉන්දීය කණ්ඩායමට ජය

0

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඉන්දීය කණ්ඩායම සමගින් පැවැත්වුණු තරග තුනකින් යුත් T20 තරගාවලිය 2-1ක් ලෙස ඉන්දීය කණ්ඩායම ජය ලැබුවා. ඒ ඊයේ පැවති තෙවන හා අවසන් තරගය ලකුණු 30කින් ජයග්‍රහණය කිරීමත් සමගයි.

ඊයේ (10) නාග්පූර්හි පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 174ක් රැස්කරගත්තා.

ශ්‍රේයාස් අයියර් ලකුණු 62ක්ද, කේ.ඒ.රාහුල් ලකුණු 52ක්ද, මනීෂ් පාන්ඩේ නොදැවී ලකුණු 22ක්ද, ශිකර් ධවාන් ලකුණු 19ක් ද රස කළ අතර අන් ක්‍රීඩකයන් ලකුණු 9 සීමාව පසු කිරීමට සමත් වුණේ නැහැ. සෞම්‍ය සර්කර්, සෆියල් ඉස්ලාම් කඩුලු 2 බැගින්ද, අල්-අමීන් හුසේන් එක් කඩුල්ලක්ද ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දු වාර 19.4 කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 144ක් පමණයි. මොහොමඩ් නයීම් ලකුණු 81ක්ද, මොහොමඩ් මිතුන් ලකුණු 27ක් ද, ලිටන් දාස් ලකුණු 9ක් ද අමිනුල් ඉස්ලාම් ලකුණු 9ක් ද රැස්කළා. අන් ක්‍රීඩකයින් කිසිවෙක්ට ලකුණු 9 සීමාව පසු කිරීමට ඉන්දීය පන්දු යවන්නන් අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. ශිවාම් දූබේ කඩුලු 3ක්ද, යුශ්වේන්ද්‍ර චහල් එක් කඩුල්ලක්ද දවාගත්තා.

T20 පිටියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් දීපක් චාහර් පන්දුවාර 3.2කදී ලකුණු 7කට කඩුලු 6ක් බිඳ හෙලුවා. මින් පෙර මෙම වාර්තාවට හිමිකම් කියා තිබුණේ ශ්‍රී ලංකාවේ අජන්ත මෙන්ඩිස් විසින්. ඒ ලකුණු 8කට කඩුලු 6ක් බිඳ හෙලමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here