අපරාජිත ඉන්දියාවෙන් කොදෙව්වන්ට 269ක ඉලක්කයක්

0

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් දේශය අතර තරගය මේ වනවිට මැංචෙස්ටර් හිදී පැවැත්වේ. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 7ක් බිඳවැටී ලකුණු 268ක් ලබාගැනීමට සමත්විය.

ඒ අනුව මෙම තරගය ජය ගැනීමට නම් බටහිර ඉන්දීය කොදෙව් දේශය පන්දුවාර 50ක් තුළ ලකුණු 269ක් ලබාගත යුතුය. එනම් එක් පන්දු වාරයකට ලකුණු 5.37ක දල ලකුණු වේගයක් ඔවුන් විසින් පවත්වාගත යුතුව ඇත.

තරමක් මන්දගාමී තණතීරුවක් වන මෙහි එවන් ලකුණු ප්‍රමාණයක් ඉන්දියාවට එරෙහිව ලබාගැනීමට නම් කොදෙව්වන් මුල් පන්දුවාර කිහිපයේ සිටම සිය සුපුරුදු ක්‍රීඩා විලාශයට අවතීර්ණ වීම අනිවාර්ය වේ.

අසනීපවීම හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්වීමට සිදුවූ ප්‍රවේගවත් පිතිකරු ඇන්ඩ්‍රැ රසල් වෙනුවට අද තරගයට සුනිල් ඇම්බ්රිස් කැඳවා ඇති අතර ඔහුද වේගයෙන් පන්දුවට පහරදීමට හැකි ක්‍රීඩකයෙකි. ක්‍රිස් ගේල්ගේ ආරම්භක පිතිකරු සගයා වන්නේ ඔහුය.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නායක විරාත් කෝලී ලකුණු72ක් ලබාගත්තේය. ඊට අමතරව දෝනි අවසන් පන්දුවාර කිහිපයේදී වේගයෙන් පන්දුවට පහරදෙමින් ලකුණු 56ක් ඉන්දීය ඉනිමට එකතු කිරීමට සමත් විය.

පන්දු යැවිමේදී රෝච් කඩුල 3ක්ද, හෝල්ඩර් හා කොට්ට්‍රෙල් කඩුලු 2 බැගන්ද බිඳ දැමුහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here