අවිශ්කගේ වාර්තාව සමගින් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

0

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් දේශය අතර ඊයේ ( 01) එංගලන්තයේ චෙස්ටර් ලී ස්ට්‍රිට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් තියුණු සටනකින් පසු ලකුණු 23ක ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේදී පළමුවරට ලකුණු 300 කඩඉම පසුකිරීමට සමත්විය. ඒ අනුව පන්දුවාර 50 අවසනදී කඩුලු 6කට ලකුණු 338ක් රැස්කිරීමට ඔවුන් සමත්විය.

මෙහිදී ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වූ අවිශ්ක ප්‍රනාන්දු තමාගේ මංගල ශතකය වාර්තා කරනු ලැබුවේ වාර්තා පොත් අලුත් කරමිනි. ඒ ලෝක කුසලාන තරගාවලියකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් ලැබූ ලාබාලතම ක්‍රීඩකයා බවට පත්වෙමින් සහ ලෝකයෙන්ම එවැන්නක් සිදුකළ තෙවැන්නා බවට පත්වෙමිනි. ඒ වනවිට අවිශ්කගේ වයස අවුරුදු 21යි දින 87ක් ලෙස සටහන් විය. ඔහු දැවී යනවිට පන්දු 104කින් ලකුණු 103ක් රැස්කිරීමට සමත්වී තිබුණි. කුසල් පෙරේරාගේ ලකුණු 64 සහ කලකට පසු කණ්ඩායමට එක්වූ ලහිරු තිරිමාන්නගේ වේගවත් ලකුණු 45ද ලකුණු පුවරුව ඉහළ දැමීමට දායක විය.

පන්දු යැවීමේදී ජේසන් හෝල්ඩර් පමණක් සාර්ථක වුයේ කඩුලු 2ක් බිඳදමමිනි.

පිළිතුරු ඉනිමේ මුල් අදියර ශ්‍රී ලංකාව විසින් මනාව පාලනය කළේ තරගයේ වැඩි වාසිය තමන්ට බව පෙන්නුම් කරමිනි. පන්දුවාර 34.3කදී නොසෙව් ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 6ක් බිඳවැටී ලකුණු 199ක් ලෙසිනි. එහෙත් කවදත් වේගයෙන් පන්දුවටපහරදීමට රුචි කොදෙව්වන් සටන අත්හරින පාටක් පෙනෙන්නට තිබුණේ නැත. ඔවුන් අවසන් පන්දුවාර 10ට ලකුණු 108ක් ලබාගත්තද ශ්‍රී ලංකාවේ ජය නතර කිරීමට එය ප්‍රමාණවත් නොවීය. පන්දුවාර 50 අවසනදී කඩුලු 9කට ඔවුන්ට ලබාගතහැකි වූයේ ලකුණු 315ක් පමණි.

ලසිත් මාලිංග ලකුණු 55කට කඩුලු 3ක් බිඳහෙලු අතර, කුසල් මෙන්ඩිස් හා තිසර පෙරේරා පහසු උඩපන්දු 2ක් රැකගත්තේ නම් ඔහුගේ කඩුලු මල්ල කඩුලු 5කින් පෙහොසත් වීමට ඉඩ තිබුණි.

ශ්‍රී ලංකා කණ්ඩායම නිත්‍ය පන්දු යවන්නන් සිව්දෙනෙක් සමගින් ක්‍රීඩා කළ නිසාවෙන් තරගයේ 48වන පන්සුවාරය යැවීමට බාරකරන ලද්දේ 2017 වසරේ දෙසැම්බර් මාසයෙන් පසු පන්දු නොයැවූ ඇන්ජලෝ මැතිව්ස්ටය. එයට හේතුව වී තිබුනේ මාලිංගට ඉතිරිව තිබුනේ එක් පන්දුවාරයක් පමණක් වූ අකර, සෙසු වේගපන්දු යවන්නන්ගේ පන්දුවාර සියල්ල අවසන්ව තිබුණි.

ඇන්ජලෝ තමාගේ යුතුකම අකුරටම ඉටුකරමින් තමා යැවූ පළමු පන්දුවෙන්ම එතෙක් ශ්‍රී ලංකාවට හිසරදයක්ව තිබූ පිටියෙන් ඉවත්කලේ ලකුණු 118ක් ලබාසිටියදීය. ඉන් අනතුරුව ඔහු අවසන් පන්දුවාරයත් ඉතා හොඳින් ක්‍රියාත්මක කළ අතර එම පන්දුයැවීම සටහන් වූයේ ලකුණු 6කට එක් කඩුල්ලක් වශයෙනි.

තරගයේ වීරයා සම්මානය හිමිවූයේ මංගල ශතකය ලබාගත් අවිශ්ක ප්‍රනාන්දුටය.

මේ වනවිට ශ්‍රී ලංකාව ලකුණු සටහනේ 6වැනි ස්ථානයේ රැඳී සිටිනුයේ ලකුණු 8ක් ලබාගනිමිනි.

ශ්‍රී ලංකාව මුහුණදෙන මීළඟ තරගය ජූලි 6වැනිදා ඉන්දියාව සමගින් හෙඩිග්ලිහිදී පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here