ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය – 2019 ශ්‍රී ලංකා පළමු තරගය සිම්බාබ්වේට එරෙහිව අද

0

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය එංගලන්තයේ ලිවර්පූල් නුවර එම්. ඇන්ඩ් එස්. බෑන්ක් එරීනා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද (12දා) ආරම්භ වේ. තරගාවලිය ආරම්භ කරමින් නවසීලන්ත කණ්ඩායම සහ මලාවි කණ්ඩායම පළමුව තරග වැදීමට නියමිතය. මෙවර ලෝක කුසලානය සඳහා රටවල් දාසයක් තරග කරන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ශූරයින් ලෙස තරගාවලිය සුදුසුකම් ලබා ගත්තේය. ආසියානු කලාපයෙන් ශ්‍රී ලංකාවට අමතරව සිංගප්පූරුව තරගාවලිය සඳහා එක්ව සිටී. ඊට අමතරව ඔස්ට්‍රේලියාව, බාබඩෝස්, එංගලන්තය, ෆීජි, ජැමෙයිකාව, මලාවි, නවසීලන්තය, උතුරු අයර්ලන්තය, සැමෝවා, ස්කොට්ලන්තය, දකුණු අප්‍රිකාව, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ, උගන්ඩාව, සිම්බාබ්බේ කණ්ඩායම් තරගාවලියට ක්‍රීඩා කරයි.

ආසියානු ශූරියන් වන ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩයෙන් තරග කරනු ලබන අතර එම කාණ්ඩයෙන් ඔවුනට අමතරව ඔස්ට්‍රේලියාව,  සිම්බාබ්වේ  සහ උතුරු අයර්ලන්තය යන රටවල් ක්‍රීඩා කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය අද (12දා) සිම්බාබ්වේ සමග ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.00ට ආරම්භ වීමට නියමිත ය.  ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය හෙට (13දා) උතුරු අයර්ලන්ත කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු ද2.00ටද මූලික වටයේ අවසන් තරගය ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ අනිද්දා (14දා) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ටද ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස 2011 සහ 2015 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලි අත්දැකීම් ඇති ගුවන් හමුදාවේ චතුරංගි ජයසූරිය කටයුතු කරන අතර, උපනායිකාව ලෙස ගයනි දිසානායක කටයුතු කරන්නීය. මීට අමතරව කණ්ඩායමේ පුහුණුකාරිණිය ලෙස  තිලකා ජිනදාස මහත්මියද කළමනාකාරවරිය ලෙස ට්‍රික්සි නානායක්කාර මහත්මියද,වෛද්‍යවරිය ලෙස දමින්දා අත්තනායක මහත්මියද කටයුතු කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට ලෝක දැල්පන්දු ශ්‍රේණිගත කිරීම්හි ප්‍රසාද ලකුණු 604ක් ලබමින් 18 වැනි ස්ථානයේ පසුවන අතර, එහි පළමු ස්තානය හිමිව ඇත්තේ  ප්‍රසාද ලකුණු 5050ක් ලබා සිටින ඔස්ට්‍රේලියාවටයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙවර අරමුණ වී ඇත්තේ කෙසේ හෝ පළමු ස්ථාන 10 අතරට පැමිනීමටයි.

2015 වසරේදී පැවති ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව තිබුණේ 18 වැනි (අවසන්) ස්ථානයයි. ශ්‍රී ලංකා  දැල්පන්දු තරග ඉතිහාසයේ ලෝක කුසලාන තරගාවලියක ලබාගෙන ඇති ඉහළම දක්ශතාව වනුයේ 1963 වසරේදී කණ්ඩායම් 11 ක් තරග කළ තරගාවලියේදී 09 වැනි ස්ථානය ලබාගැනීමයි. මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලි 10කදී (1963, 1983, 1987, 1991, 1995, 1999, 2003, 2007, 2011, 2015) තරග 80කට ක්‍රීඩා කරමින් තරග 19ක් ජයගෙන තරග 61ක් පරාජයට පත්ව ඇත. අවසන් වරට 2015 වසරේ පැවති ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 08කට ක්‍රීඩා කළ අතර, එම තරග 08ම පරාජයට පත්විය.මේ අතර ශ්‍රී ලංකා කන්ඩායම සහභාගි වන තරග පමණක් ජාතික රූපවාහිනිය ඔස්සේ සජීව ලෙසින් විකාශය කිරීමට නියමිතය.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here